Thursday, December 31, 2009

අපේ ලොවට නව වසරක්...


අද...2009 අවුරුද්දෙ අන්තිම දවස. ඊයේ දිනයේ ආරම්භ කරපු මගේ ළදරු බ්ලොග් සටහනට තවත් සටහනක් එකතු කරන්න ඉක්මන් වැඩි උනත් ‍මගේ ජීවිතයටත් අපේ මාතෘ භූමියටත් ඉතාමත්ම වැදගත් වෙන වසරක නැවතත් සටහනක් තබන්න ඉඩක් නොලැබෙන නිසා අදත් බ්ලොග් සටහනක් ලියන්න හිතුවා. කවුරු කොහොම කිව්වත් අපේ රටට නියම නිදහස ලැබුනේ තවත් පැය කිහිපයකින් ඉතිහාසයට එකතු වෙන මේ වසරේ කියලයි මම නම් හිතන්නේ. නිර්ලජ්ජිත දේශපාලනය නිසා මිනිස්සු මේ වග මෙතරම් ඉක්මනින් අමතක කිරීම කණගාටුවට කාරණයක්. යුධ ජයග්‍රහන ලැබූ මොහොතේ එක රටක් එක ජනතාවක් කියන අදහස තිබුනු අපි සැබෑ නිදහස දිනාගත් වසර ගෙවිලා යන්නත් පෙර දෙපිළකට බෙදීම දෛවයේ සරදමක් වගේ. මගේ දෙවෙනි සටහනේදිම කියන්න කැමතියි මේ මොහොතේ මම කිසියම් දේශපාලන ප්‍රවාහයකට සහයෝගය දක්වන බව. ලංකාවේ දේශපාලනය මොනතරම් පිළිකුල් සහගත උනත් 'අපිට දේශපාලනයක් නෑ' කියන කථාවට මම කිසිසේත්ම එකඟ වෙන්නේ නහැ. මේ රට ලෝකයේ ඉතාම බුද්ධිමත්, දක්ෂ ජාතියක් වෙසෙන වාසනාවන්ත රටක් බව මම තදින්ම විශ්වාස කරනවා. දේශපාලනයේ වැරදි ඇත්නම් ඒවා නිවැරදි කළ යුත්තේ අපම මිස වෙනත් කිසිවකුට අප වෙනුවෙන් රට ගොඩනැඟීමේ සැබෑ අවශ්‍යතාවයක් නැති බව අප වටහාගත යුතුයි. සර්ව සාධාරණ පාලනයක් දේශපාලඥයින් යැයි කියන බොහෝ විට සාමාන්‍ය ජනතාවටත් වඩා පහත් මානසික මට්ටමක සිටින මිනිසුන් පිරිසකගෙන් බලාපොරොත්තු වීම කොතරම් සාධාරණ ද කියලා නැවතත් සිතා බැලිය යුතුයි.
පළමු බ්ලොග් සටහනට ඡේද වෙන්කරන්න කියලා දයාබර ප්‍රතිචාරයක් තිබුන නිසා අලුත් ජේදයකින් ආරම්භ කළත් මගේ සටහනේ ගලා යෑම ඒ ආකාරයෙන්ම සිදුවේවි. ප්‍රතිචාර ගැන මතක් කළ නිසා ඒ ගැනත් සඳහනක් කරන්නේ ඉතාම සතුටින්. මෙවැනි අඩු කාලයකදී පාඨක ප්‍රතිචාරත් බ්ලොග් කරුවන්ගේ සංසදයේ ඉක්මන් ප්‍රතිචාරයත් මම කිසිසේත් බලාපොරොත්තු උනේ නෑ. එවා තුලින් දැකිය හැකි වන්නේ ලංකාවේ බ්ලොග් සටහන් පිළිබඳව ඇති පිබිදීම පමණක් නොවෙයි. අලුත් විදියකට හිතන අලුත් විදියකට කටයුතු කරන තරුණ පරපුරක් ගැන උණුසුම් බලාපොරොත්තු මම මේ ප්‍රතිචාර තුළින් ඇතිකරගන්නවා. එයින්ම මගේ කලින් මාතෘකාවට ගියොත්, අපි තරුණයන් වන්නේ අපේ රටේ ඉතාමත්ම වාසනාවන්ත කාලයක බවත් අපගේ මුතුන්මිත්තන් පමණක් නොව මෑත ඉතිහාසයේ මේ පොළව යට මිහිදන් වුනු අපේම සොයුරු සොයුරියන්ගේ ජීවිත පූජාවනුත් වඩාත් අර්ථවත් කළ හැක්කේ අපේම එකමුතුවෙන් මව්බිම ගොඩනැඟීමෙන් බවත් අප තේරුම් ගත යුතුයි. පවතින අධ්‍යාපන ක්‍රමය තුළින් මේ අදහස කොතරම් දුරට අපේ මනසට ලබාදෙනවාද යන්න ගැටළුවක්. නමුත් ලෝකය අපට පෙන්වන දේ අපේම ඇසකින් දකින්නට පුරුදු වීමෙන් දීප්තිමත් අනාගතයක් සඳහා අපගේ දායකත්වය ලබාදිය යුත්තේ කෙසේද යන්න තේරුම් ගැනීම පහසු වන බව මගේ හැඟමයි. බහුතරයක් වූ බලලෝභී දේශපාලඥයින්ගෙන් අප බලාපොරොත්තු වන සංවර්ධනය ලබාගත නොහැකි බව පැහැදිළි කාරණයක් වුවත් අපගේ අරමුණට සාපේක්ෂව ආසන්න පාලනයක් තෝරා ගැනීම කළයුතු වන්නේ ඵල රහිත අරගල වලට වැඩි යමක් එමඟින් ලබාගත හැකි වන නිසයි. නව වසර ආරම්භයේදිම මම මේ කියන කාරණයට අදාලව අප සැමට කටයුතු කරන්න සිදුවන නිසා තමයි මගේ දෙවැනි බ්ලොග් සටහන මෙවැනි අදහසක් ඇතුව ලියවුනේ. කිසියම් දේශපාලනික අර්ථයක් ගැබ්වෙලා තිබීම නිසාම සමහර පාඨකයෙක් මෙයින්ම මගේ බ්ලොග් සටහන කියවීම නතර කළොත් ඒ ගැන මම පුදුම වෙන්නේ නෑ. නමුත් උදහස් නොවී දිගටම මගේ බ්ලොග් සටහන කියවන ලෙස ආරාධනා කරමින් මීට වඩා ලියන්නට බලාපොරොත්තු වූ සටහන නව වසරේ උදාව නිසාම මෙතනින් අවසාන කරනවා.

ඔබ සැමට සුබ නව වසරක් වේවා!

6 comments:

  1. සුබ අළුත් අවුරුද්දක් ඔයාටත් !!!
    දිගටම ලියන්න... අපි බලනවා..

    Please remove word verification machan...

    ReplyDelete
  2. 2010 සුභම සුභ වේවා ! කිවුවා

    ReplyDelete
  3. හැමෝටම තුති අදහස් වලට...

    ReplyDelete
  4. ලියන විධිය ලස්සනයි. කාල වේලාව තියෙන හැටියට සතියට පෝස්ට් දෙකක්වත් දාන්න... :)

    ReplyDelete
  5. Aththatama liyana widiya lassanay mchn...thawa liyamu.....

    ReplyDelete